දුටු නොදුටු ගන්නෝරු වනස්පති

          


1638 පෘතුගීසීන්ට විරුද්ධව පැන නැගී ගන්නෝරුව සටන සිදු වූ භූමිය, ඓතිහාසික වටිනාකමකින් යුතු වුවා සේම ජෛව විවිධත්වයෙන් අනූන වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ කඳුකරයට තවත් ආලෝකයක් එක් කළ වැදගත් පාරිසරික පද්ධතියක් ලෙස ගන්නෝරුව වන රක්ෂිතය හඳුන්වා දිය හැකඋඩවත්ත කැලය, හන්තාන කඳු පන්තිය, වාකරවත්ත හා බහිරවකන්ද කඳු වනාන්තර හා ඒකාබද්ධ වූ ගන්නෝරුව වන රක්ෂිතය පේරාදෙණිය උද්භිත උද්‍යානයට සමීපව පිහිටා ඇතමෙම වනාන්තරය තෙත් කලාපීය කුරුලු විශේෂ අධ්‍යයනයට සුවිශේෂී වූ ස්ථානයකි. එම නිසාම මෙම ස්ථානය කඳුකර කුරුලු ගහන කලාපයක් ලෙස 1995 ජෛව විවිධත්ව ආඥා පනත යටතේ වර්ගකරණයට කර ඇත.

මෙම කඳුකර වැසි වනාන්තරය මහනුවර නගරයේ සිට ආසන්නව 6.5 km ක් නිරිත දෙසට වන්නට හෙක්ටයාර 267 භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින අතර එයින් අඩකට වැඩි ප්‍රමාණයක් මහෝගනී ශාක විශේෂයෙන් සමන්විත වීම වැදගත් කරුණකි. මුහුදු මට්ටමේ සිට 600mත් - 750mත් අතර උසකින් පිහිටා ඇති මෙය තරමක් ගල් සහිත ප්‍රදේශයකි. එමෙන්ම මහනුවර මහවැලි ඉහළ කලාපයට අයත් මෙම රක්ෂිත පෙදෙසට වාර්ෂිකව 2100mm කට ආසන්න වර්ෂාපතනයක් ලැබේ.

ගන්නෝරුව වන රක්ෂිතය ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියකට හිමිකම් කියයි. එහි කුරුළු විශේෂ  84 ක් දක්නට ලැබෙන අතර දළ වශයෙන් කුරුල්ලන් 3100 ක් පමණ සිටී. එයිනුත් ශ්‍රී ලංකාවට ආවේණික කුරුලු විශේෂ   11 ක් දක්නට ලැබීම සුවිශේෂී කරුණකි. තවද උභය ජීවී විශේෂ 14 ක් ද, උරග විශේෂ  30 ක් පමණද, ගොලුබෙල්ලන් විශේෂ 11 ක් ද මෙහි දී අපට හමුවේ. එයිනුත්; ගොළුබෙල්ලන් අතරින් විශේෂ 9 ක් ශ්‍රී ලංකාවට ආවේණික වීම වැදගත් වේ. මෙි සත්ත්ව විශේෂ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ බොහෝමයකි. ශ්‍රී ලංකාවට ආවේණික ගන්නෝරු පඳුරු මැඩියා ප්‍රථම වතාවට හඳුනාගනු ලැබුවේද මෙම ගන්නෝරුව වන රක්ෂිතයෙනි. තවද මෙහි වෙසෙන ශ්‍රී ලංකාවේ විශාල ම කටුසු විශේෂය වන ශ්‍රී ලංකාවට ආවේණික කඳුකර බෝදිලිමා වඳවීයාමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව විශේෂයකි. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ වන පහතරට මූකලන් තෙලිස්සා, පිනුම් කටුස්සා හා පඳුරු මාපිලා මෙහි දක්නට ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික හා වඳ වී යාමේ තර්ජනයට මුහුණපා සිටින දිවාසැරි හූනන් ද, වඳ වී යාමේ තර්ජනයට දැඩිව ලක්වී ඇති අදුන් දිවියා ද ගන්නෝරුව වන රක්ෂිත ප්‍රදේශයේ දී සොයා ගැනීමට හැකිය.

ගන්නෝරුව වන රක්ෂිතය තුළ ශාක විශේෂ 60 කට ආසන්න ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර එයින් විශේෂ 2 ක් ගන්නෝරුවටම පමණක් ආවේණික ශාක විශේෂ වේ. ඉන් පළමුවැන්න විද්‍යාත්මකව Diospyros atrataලෙස හඳුන්වනු ලබයි. සාමාන්‍ය ව්‍යවහාරයේ “කළු කැන්ද” ලෙස හඳුන්වන මෙම ශාකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඖෂධයක් ලෙස භාවිතා වේ.

දෙවැන්න “Diospyros koenigii ලෙස හඳුන්වනු ලබන අතර වර්තමානය වන විට මෙම ශාක විශේෂ වඳවීයාමේ තර්ජනයට මුහුණ දී තිබීම කණගාටුවට කරුණකි.

මෙම වන රක්ෂිතයේ සුලබ ව දක්නට ලැබෙන ශාක විශේෂ අතර සපු, ඇටඹ, කුඩු දවුල, මොර, හා බුළු ප්‍රධාන වෙි.  එමෙන් ම ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයක් වන ඇත් හෙරලිය ද දක්නට ලැබේ.

ගන්නෝරුව වන රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් ස්ථානීය සංරක්ෂණයට තුඩු දෙන, ස්වාභාවික පරිසරය සමතුලිතතාවය පවත්වා ගැනීමට මනා පිටුවහලක් වන වැදගත් වන පෙතකි. මෙය ස්වාභාවික පරිසර පද්ධතියක් ලෙස සුරැකීමට හැකි වන්නේ නම් එය අධ්‍යනයට ඉතා අගනා ස්ථානයක් වනු ඇත. මක්නිසාදයත් බොහෝමයක් ශාක හා සත්ත්ව විශේෂ ස්ථානීය සංරක්ෂණයට බඳුන් වූ මෙහි විද්‍යාත්මක පරීක්ෂණයන්ට හා ජෛව ශාක විද්‍යාඥයන්ගේ අවධානය දිනා තිබේ.

නමුත් මෙම වටිනා පරිසර පද්ධතිය අද වන විට යම් යම් තර්ජනයන්ට මුහුණ පා සිටින බව නොරහසකි. වනයේ බටහිර දෙසට වන්නට නිතර නිතර සිදුවන ගිනි තැබීම්, නිවාස සෑදීම සඳහා සිදුවන වන විනාශය හා එළි පෙහෙළි කිරීම ද, දැව සඳහා වන වන විනාශය ද සුලභ ලෙස සිදුවීම්ය. වන රක්ෂිතයක් වුවද ගම්වාසීන්ට සංචාරකයන්ට හා කඳු නගින්නන්ට විවෘත ස්ථානයක් වීම නිසා සත්ත්ව ප්‍රජාව ගේ ස්වාභාවික  චර්යාවන්ට බොහෝ බාධා වීම් ඇති වී තිබේ. බෙන වාසි කුරුලු කුරුළු විශේෂ ප්‍රජනනය සඳහා වන මායිමේ ශාක තෝරා ගන්නා බැවින් කුඩා ගම්මාන වනාන්තරය දෙසට ව්‍යාප්ත වීම ව්‍යාප්ත වීම ඔවුන්ගේ වාසස්ථාන අහිමි වී යාමට තදබල හේතුවක් වී තිබේ. එම නිසා මෙම ආවේණික හා වටිනා කුරුලු විශේෂ වල පැවැත්මට විශාල හානියක් හා තර්ජනයක් එල්ලවී තිබීම කණගාටුවට කරුණකි. තවද වනාන්තරය නැරඹීමට පැමිණෙන සංචාරකයන් කුණු කසල වන භූමිය තුළ දමා යෑම ද විශාල හානියක් සිදු කර ඇත.

සැලකිය යුතු ජෛව විද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම පරිසර පද්ධතිය සුරැකීම අපගේ යුතුකමකි. ඒ සඳහා ගත හැකි විසඳුමක් ලෙස නැවත වන රෝපණය වැදගත් වේ. ශාක පැළ නැවත සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, හානි හානි වූ භූමිය නැවත පිළිසකර කරවීම, පස ඛාදනය වැළැක්වීමට හැකි පියවර ගැනීම, ජල මාර්ග හා තෙත් බිම් සංරක්ෂණය හා නැවත යථා තත්ත්වයට පත් කිරීම,  අනවසර ඇතුළුවීම් වැළැක්වීම හා ඒවාට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතුම ක්‍රියාමාර්ග අතර වේ. තවද මෙම වනාන්තරයේ ඇති වැදගත්කම හා වටිනාකම පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම හා වන විනාශය සිදු කරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි දඬුවම් හා නීතිරීති ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය. සමාජයේ මේ පිළිබඳ අධිකාරිත්වය දරන පුද්ගලයන් හා දෙපාර්තමේන්තු වල අවධානය මේ සඳහා යොමු කළ යුතු ය.

නුවරට සීතල ප්‍රාණ වායුව එක් කරන හරිතවත් වන තීරයත්, එහිම වෙසෙමින් සොඳුරු වන පෙතට තවත් වටිනාකමක් මුසු ලස්සනක් එක් කළ සතා සිවුපාවන් රැසක් කැටි කොටගත් මේ මනරම් භූමිය සුරැකීම ඒ ප්‍රාණ වායුව ආශ්වාස කරන්නා වූ අපගේ වගකීම හා යුතුකම නොවන්නේ ද ?


Comments

Popular posts from this blog

Fluoride related health issues in Sri Lanka concerning the regional climate.

Cascade systems in Sri Lanka

National Environmental Act (1980) of Sri Lanka Vs National Environmental Act (2007) of Bhutan